Written by 12:30 pm Uncategorized Views: 1


ලිංගික අපරාධ: ‘දූෂණයෙන්’ නොනැවතී ‘කාන්තාවන්ට නිගරු කරන පිරිමින්ගේ සමාජයක්’

පළවූයේ – බීබීසී සිංහල සේවය

ඡුායාරූප අනුග‍්‍රහය – බීබීසී සිංහල සේවය, එතික්ස් අයි, Getty Images

කැමැත්තෙන් තොරව බලය යොදා ලිංගිකව එක්වීමේ ක්‍රියාව හැඳින්වීම සඳහා සිංහල භාෂාව තුළ බහුලව යොදා ගනු ලබන්නේ ‘දූෂණය’ යන වචනයයි.

සිංහල පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා සහ වෙබ් අඩවි මෙන්ම අධිකරණය, පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ ද එම වචනය බහුලව භාවිත වේ.

ඉහත කී ලිංගික අපරාධය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ ‘රේප්’ (Rape) යනුවෙනි.

සාමාන්‍යයෙන් සිංහල භාෂාව තුළ ‘දූෂණය’ යන වදන යොදා ගනු ලබන්නේ යමක් ‘අපවිත්‍ර’ වූ බව ඇඟවීම සඳහාය. ඊට අමතරව කෙලෙසීම, කිලිටි වීම, මිලින වීම වැනි වචන ද ඒ සඳහා යොදා ගැනෙයි. එම වචනවලින් ඇඟවෙන්නේ තත්ත්වය පහළ යාමක් වැනි අදහසකි.

ඒ අනුව ලිංගික අපරාධයකට ගොදුරු වීම නිසා කයෙනුත් මනසිනුත් පීඩාවට ලක් වන කාන්තාව ‘දූෂණය’ යන වචනය හමුවේ නිග්‍රහයකට, අවමානයකට ලක් වේ.

දූෂණය එපා

එබැවින් ලිංගික අපරාධයකට ගොදුරු වූ ස්ත්‍රියක් කිලිටි හෝ අපවිත්‍ර යැයි ඇඟවෙන ‘දූෂණය’ යන වචනය එවැනි අපරාධයක් විග්‍රහ කිරීම සඳහා භාවිත කිරීම ප්‍රශ්නකාරී බව වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලි අබේවර්ධන පවසයි.

ලිංගික අපරාධයකට ලක් වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අප සමාජය තුළ’නිශේධනාත්මක ආකල්පයක්’ ඇති බව ඉන් ගම්‍ය වෙතැයි ඇය පෙන්වා දෙයි.

“ඔවුන් සමාජය තුළ කොන් වෙනවා. ඒ වගේම එහිදී ‘වික්ටිම් බ්ලේමින්’ (අපරාධයට ලක් වූ පුද්ගලයාම වරදකරු කිරීම) කියන තත්ත්වය දකින්න පුළුවන්,” ඇය පැවසීය.

“ලිංගික අපරාධවලට වැඩි වශයෙන් ලක් වෙන්නේ කාන්තාවන්. සමාජය හිතනවා එවැනි අපරාධවලට ලක් වෙන පුද්ගලයා කිලිටි වෙන බව. ඒ නිසා ‘දූෂණය’ කියන වචනය භාවිත කරන විට ඒ කාන්තාව දෙවතාවක් වින්දිතයා බවට පත් වෙනවා (Double Victimization). ‘ළමා අපයෝජනය’ (Child Abuse) කියන වචනය ගත්තොත් එමගින් ‘දූෂණය’ කියන වචනය වගේ ඊට ගොදුරු වන පුද්ගලයා ගැන හැඟීමක් ඇති කරන්නේ නැහැ,” යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

එබැවින් ලිංගික අපරාධයක් විග්‍රහ කිරීමේදී ‘දූෂණය’ යන වචනය වෙනුවට වෙනත් වචනයක් භාවිත කළ යුතු යයි දීපාංජලි අබේවර්ධන යෝජනා කරයි.

“ඒ සඳහා මාධ්‍ය තුළින් යම් බලපෑමක් කළ හැකියි. එසේ නොමැතිව ‘දූෂණය … දූෂණය …’ කියමින් වාර්තා පළ කිරීම මාධ්‍යවේදීන් වශයෙන් අප නොකළ යුත්තක්.”

“නීතිය තුළත් ‘දූෂණය’ කියන වචනය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නගන්න මාධ්‍ය ආයතනවලට පුළුවන් නම් මේ තත්ත්වය වෙනස් කිරීමට හැකි වේවි,” යනුවෙන් දීපාංජලි අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළාය.

මානසික බලපෑම

සිංහල ශබ්දකෝෂයට අනුව ‘Rape’ යනු: ස්ත්‍රී දූෂණය; තනිස්කරණය; බලහත්කාරය වේ. ඊට අමතරව බොහෝ විට අයහපත් පාරිසරික බලපෑම් පිළිබඳ කතා කිරීමේදී ද ‘දූෂණය’ (Pollution/පොලුයුෂන්) යන වචනය යොදා ගැනෙයි. ‘Pollution’ යනු:දූෂණය; කිලිටු කිරීම; අපවිත්‍රකරණය වේ.මලලසේකර ශබ්දකෝෂය.

ලිංගික අපරාධයකට ගොදුරු වීම නිසා ඇති වන කම්පනයෙන් මිදීමට දීර්ඝ කාලයක් ගත විය හැක. ඇතැම් විට ඉන් ඇති වූ මානසික තුවාල දිවිය පුරාම පැවතිය හැක.

මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක අමා දිසානායක පවසන පරිදි ‘දූෂණය’ යන වචනය වින්දිතයා තවදුරටත් පීඩාවට සහ වේදනාවට පත් කරන්නකි.

“මට නෙමෙයි අනෙකාට මේක වුණේ කියල සන්තෝස වෙන තත්ත්වයක් ලාංකීය සමාජය තුළ දැකිය හැකියි. නමුත් යම් කිසි දවසක ඒ දේ තමන්ට වුණොත් තමයි එහි තිබෙන පීඩාව, වේදනාව තේරුම් යන්නේ.”

‘දූෂණය’ යන වචනය නිසා තමන් ‘අපවිත්‍ර වූවා’ හෝ ‘කිලිටි වූවා’ වැනි අදහසක් ඇති කර ගැනීමට සමාජය විසින් වින්දිතයන්ට බල කෙරෙන බව මනෝ චිකිත්සක අමා දිසානායක පවසයි.

සමාජය ඒ සම්බන්ධයෙන් සංවේදී වීමේ වැදගත්කම පෙන්වා දෙන ඇය ‘දූෂණය’ යන වචනය වෙනුවට වෙනත් වචනයක් භාවිත කිරීමට කාලය එළඹ ඇතැයි සඳහන් කළාය.

“අපි සෑම විටම වින්දිතයා ගැන සිතිය යුතුයි. නමුත් බොහෝ විට එසේ වෙන්නේ නැහැ. කොච්චර පීඩනයට පත් වුණත් නැවත නැවතත් ඒ දේම අහන, ඒ දේම මතක් කරන සමාජයක් තමයි පවතින්නේ. බොහෝ විට අපේ කලාපයේ රටවල කාන්තාව සලකන්නේ දෙවෙනි පෙළ පුරවැසියන් වශයෙනුයි. පිරිමින්ගේ ලෝකයක් නිර්මාණය කිරීමේ උත්සහයක් පවතිනවා. ඒ තත්ත්වය තමයි මෙහිදීත් දකින්න ලැබෙන්නේ.”

දෙමළ භාෂාව සහ ඉන්දියාවේ බලපෑම

මම දකින විදිහට ‘කට්පලිත්තල්’ සහ ‘දූෂණය’ වගේ වචන තුළ පුරුෂාධිපතිවාදී දෘෂ්ටියක් ඇති බව තමයි පැහැදිලි වෙන්නේ. එය ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් ගැලපෙන වචනයක් නොවෙයි.

ලිංගික අපරාධයකට ගොදුරු වූ කාන්තාවන් සම්බන්ධයෙන් ‘නිශේධනාත්මක’ හැඟීම් ඇති වන ආකාරයේ ‘දූෂණය’ වැනි වචන සිංහල භාෂාවට පමණක් සීමා නොවේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසන පරිදි ඒ හා සමාන තත්ත්වයක් දෙමළ භාෂාව තුළත් දැකිය හැක.

‘දූෂණය’ යන්න සඳහා දෙමළ බසින් යොදා ගනු ලබන්නේ ‘කට්පලිත්තල්’ යන වචනයයි. ‘පතිවත විනාශ කිරීම’ වැනි අදහසක් ඉන් කියවෙන බව කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

“මම දකින විදිහට ‘කට්පලිත්තල්’ සහ ‘දූෂණය’ වගේ වචන තුළ පුරුෂාධිපතිවාදී දෘෂ්ටියක් ඇති බව තමයි පැහැදිලි වෙන්නේ. එය ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් යොදා ගත යුතු වචනයක් නොවෙයි,” යනුවෙන් ඔහු කියා සිටියේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න ද එම අදහසට එකඟ වෙයි.

ස්ත්‍රීවාදී කියවීමත් සමග ඇති වූ විරෝධය හමුවේ දෙමළ මාධ්‍ය තුළ ‘කට්පලිත්තල්’ යන වචනය භාවිතයෙන් ගිලිහී ඇති බව කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් පෙන්වා දෙයි.

“දැන් දෙමළ මාධ්‍ය තුළ ඒ සඳහා බොහෝ විට භාවිත කෙරෙන්නේ ‘බලහත්කාර සංසර්ගය’ (වන්පුනරු) හෝ ‘ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම’ (පාලියල් වල්ලුරොව්) කියන වචන.”

දෙමළ මාධ්‍ය එවැනි වෙනසකට තල්ලු වීම කෙරෙහි අසල්වැසි ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින ස්ත්‍රීවාදී ව්‍යාපාර (Feminist Movement) වෙතින් එල්ල වූ බලපෑම හේතු වී ඇති බව ඔහුගේ අදහසයි.

පාකිස්තානය සහ බීබීසී උර්දු සේවය

‘බලහත්කාර සංසර්ගය’ උර්දු බසින්

  • ඉස්මත්දරී ඉස්මත් (ගෞරවය) + දරී (ඉරා දැමුණු)
  • ඉස්සත්ලූට්නා ඉස්සත් (ගෞරවය) + ලූට්නා (සොරකම් කළ) මූලාශ්‍ර: බීබීසී උර්දු සේවය

කෙසේ නමුත් ඉහත කී තත්ත්වය සිංහල සහ දෙමළ භාෂා ද්වය පමණක් නොව කලාපයේ සෙසු භාෂා තුළ ද දැකිය හැක.

උදාහරණයක් වශයෙන් ‘බලහත්කාර සංසර්ගය’ සඳහා උර්දු භාෂාවේ යොදා ගනු ලබන්නේ ඉස්මත්දරී සහ ඉස්සත්ලූට්නා යන වචනයි. ‘ගෞරවය අහිමි වී’ ඇතැයි ඉන් ඇඟවේ.

ඉහත කී වචන මගින් අපරාධයට ලක් වූ තැනැත්තිය පිළිබඳ සෘණාත්මක හැඟීමක් ඇති කරන බැවින් ඒ සඳහා ‘රේප්’ යන ඉංග්‍රීසි වචනයම භාවිත කිරීමට බීබීසී උර්දු සේවය 2005 වසරේදී පමණ තීන්දු කළ බව එම සේවයේ සංස්කාරකවරිය මෙහෙවිෂ් හුසේන් පවසයි.

“අපි ‘රේප්’ යන්න පමණක් භාවිත කිරීමට තීන්දුවක් ගත්තා. මොකද එමගින් ඇඟවෙන්නේ ඒ ක්‍රියාව පමණයි. ඒ හැර කාන්තාවකට යමක් අහිමි වූ බවක් එමගින් ඇඟවෙන්නේ නැහැ.”

පාකිස්තානයේ සෙසු මාධ්‍ය ආයතනද මේ වන විට ‘රේප්’ යන වචනය භාවිත කිරීමට පෙළඹී ඇති බවත් ඇය සඳහන් කළාය.

සමස්තයක් වශයෙන් පාකිස්තානයේ මාධ්‍ය ආයතන කාන්තාවකගේ ‘පතිවත’ අහිමි වීම සහ ‘කිලිටි’ වීම වැනි අදහසක් ඇඟවෙන වචන භාවිත කිරීම නවතා ඇති බව මෙහෙවිෂ් හුසේන් කියා සිටී.

ඊට අමතරව සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හැඳින්වීම සඳහා අපහාසාත්මක හැඟීමක් ඇති කරවන වචන ද උර්දු භාෂාවේ ඇතැයි පවසන ඇය එවැනි වචන අවලංගු වෙමින් පවතින බවත් ඒ වෙනුවට ඉංග්‍රීසි වචන භාවිත කිරීමේ නැඹුරුවක් දැකිය හැකි බවත් සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මාධ්‍ය භාවිතයේදී ස්වදේශික භාෂාව අතරට ඉංග්‍රීසි වචන මිශ්‍ර කිරීම ඇතැමෙකුගේ ප්‍රසාදයට හේතු නොවිය හැක.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙහෙවිෂ් හුසේන් වැඩිදුරටත් කියා සිටියේ “අපි ‘රේප්’ කියන වචනය භාවිත කිරීම ආරම්භ කළ වකවානුවේ ඒ සඳහා එතරම් විවේචන එල්ල වුණේ නැහැ. මේ වන විට ඇතැම් උර්දු වචන වෙනුවට ඉංග්‍රීසි වචන යොදා ගැනීම මාධ්‍ය තුළ සුලභ වෙමින් පවතිනවා. බීබීසී උර්දු සේවය හැකිතාක් උර්දු වචන භාවිත කිරීමට උත්සාහ කරනවා. නමුත් පාකිස්තානයේ සෙසු මාධ්‍ය දෙස බැලුවොත් උර්දු බස අතරේ ඉංග්‍රීසි වචනත් දැකිය හැකියි.” යනුවෙනි.

‘දූෂණය’ යන වදනවෙනුවට විකල්පයක් තිබේද?

‘දූෂණය’ වෙනුවට සිංහල භාෂාවෙන් වෙනත් වචනයක් නිර්මාණය කළ යුතු යයි වන යෝජනාවට එකඟ වන බව ලේඛකයෙකු සහ විචාරකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ ‘දූෂණය’ යන වදන වෙනුවට යෝජනා කළ හැකි වෙනත් වචනයක් තිබේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

සිංහල භාෂාවේ අඩංගු ඇතැම් වචනවල පාරිභාෂික (Technical) අර්ථයට වඩා භාවාත්මක (Emotional) ප්‍රකාශන අඩංගු වෙතැයි පෙන්වා දෙන ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල ‘දූෂණය’ යන වචනය ඊට එක් උදාහරණයක් යයි සඳහන් කළේය.

“දැන් බලන්න සාමාන්‍යයෙන් ලිංගික අපරාධයක් වාර්තා කිරීමේදී ‘දූෂණය’ කියන වචනයත් එක්ක ‘රූමත්’ කියන විශේෂණ පදයත් දැකිය හැකියි. ‘දුෂණයට ලක් වූ රූමත් තරුණිය’ වැනි ශීර්ෂ පාඨ අපි බොහෝ විට දකිනවා. මොකද ඒ තුළ සිදුවීම හඳුන්වනවා වෙනුවට පාඨකයා තුළ ඒ පිළිබඳ හැඟීමක් උද්දීපනය කරවන්න උත්සහ කරනවා.”

“හැබැයි අපිට ‘රේප්’ කිව්වොත්, ‘දූෂණය’ කී විට දැනෙන හැඟීමම දැනෙනවද?, නැහැ.”

නමුත් ‘දූෂණය’ වැනි ‘ප්‍රශ්නකාරී’ වචන වෙනුවට වෙනත් වචන නිර්මාණය කිරීම තරමක දුෂ්කර කටයුත්තක් වනු ඇතැයි ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල කියා සිටී.

එවැනි වචනයක් නිර්මාණය කිරීමේදී ඒ තුළින් සංස්කෘතික සහ ආගමික විශ්වාසයන් පිළිබිඹු වීමට වැඩි ඉඩක් පවතින බව ඔහුගේ අදහසයි.

Visited 1 times, 1 visit(s) today

Last modified: October 30, 2023

Close